හුඟ කාලෙකින් මොනවත් ම ලියන්න බැරි උනා... එකක් ගුලියා පහුගිය දොහේ හිටියේ ලංකාවේ. ලංකාවේ දී සිංහල බැරුව එහෙම නෙමෙයි... බ්ලොග් එකට ලියනවා තියා කතා කර ගන්නවත් බැරි තරමට වැඩ තිබුණා. ඒ ලංකා ගමනේ ආ ගිය තොරතුරු ටිකක් බෙදා ගන්නලත් එක්ක ල ලියන්න හිතුව හිතට ආපු දේවල් ටිකක්.... ඔන්න ඔහේ ලියනවා...
කොහොමින් ගුලියා ලංකාවට ගියේ හුඟ කාලෙකට පස්සේ... අවුරුදු දෙකක් නත්තල ට, පල්ලියේ මංගල්‍ය ට ලංකාවේ හිටියේ නැති නිසා පවුලේ කට්ටිය එක්ක, ලඟම යාළුවො ටික එක්ක කාලය ගත කරන්නත්, අනාගතේ ගැන පොඩි පොඩි තීරණ කටයුතු කාරණා ටිකක එකලාසයක් කර ගන්නටත් එක්කල ගිය බලාපොරොතු වලින් උතුරා ගිය ගමනක්. ලඟම යාළුවො විතරක් කිව්වේ අනිත් යාළුවො අමතක වෙලා නෙමෙයි... ඒ හැම කෙනෙක්වම හම්බ වෙන්න මේ නිවාඩුව ගොඩක් පොඩි කාලයක් කියල හොඳටම දැනගෙන හිටිය නිසා. ලංකාවට එන යන දිනයවත් දැනන් හිටියේ ගෙදර කට්ටිය විතරයි. එහෙම කළෙත් කාටවත් හොරෙන් ඇවිත් හොරෙන්ම යන්නවත් තියන අදහසකින් නෙමෙයි උනත්... ඒ කාව කාවත් පොඩ්ඩක් හරි පුදුම කරන්න හිතේ තිබ්බ චූටි ආසාවකට.
ලංකාවේ air port එක හුඟක් වෙනස් වෙලා... පටු තීරුවක් දිගේ ඇවිත් එක පාර මහා සෙනගක් ඉඳන් ඉන්න අලුත් කොටසට ආපුවම එක පාර මොකද්දෝ ලොකු තිගැස්මක් ආවත්... ඒ ඔක්කොම යට කරන් ආපු සුපුරුදු කට හඬක් මාව එක පාර නැවැත්තුව.... ඒ තාත්ත... මම එදා ලංකාවෙන් යන දවසේ bypass සැත්කමක් කරලා ගෙදරට වෙලා හිටපු, මම යනකොට මට එයාල නැතුව මාස තුනක් වත් ඉන්න බැරි වෙයි, මම හැරිලා ඒවි කියල වීරයෙක් වගේ හිත හදාගත්ත ඒ තාත්ත මාව දැකල අඬන්න ගත්තාම මට ත් ඉවසුම් නැතුව ගියා. ඔව් මටත් එහෙම ඉන්න පුළුවන් වුනා නෙමෙයි... ඒ ගෙවුණු කාලයේ දී මම කොහොම ඒ හැම දවසක්ම ගෙව්වාද කියල මතක් කරන්න උත්සහ කරන ගමන් එළියේ හිටපු අම්මත් මල්ලිත් ඉන්නා දිහාට ඇවිදගෙන ගියා.... පොඩි දරුවෙක් තාත්තෙක් අම්මෙක් දිහාට දුවගෙන ඇවිත් බෙල්ලේ එල්ලෙනවා වගේ... අම්ම මගේ බෙල්ලේ එල්ලෙනකොට මම අද කර දඬු උස් වුනු ලොකු මිනිහෙක් කියල මට දැනුනා... එත් මම තාම ඒ දෙමව්පියෝ ඉස්සරහ පොඩි එකෙක්.... ඊළඟට ඉන්නේ මනමාල මල්ලි පොඩ්ඩ... පොඩි කාලේ මකන කෑල්ලකට උනත් රණ්ඩු වුනු අපි අද පුදුමාකාර විදිහට වෙනස් වෙලා.... ඒ මව් පිය සෙනෙහස, අපේ සහෝදර කමේ උණුසුම දෝහා වලදී flight එක miss වෙච්ච නිසා ඒ වෙහෙසෙන් තෙත් බරිත වුනු මගේ කමිසය තවත් තෙත් කළා... එතනින් කෙලින් ම ගියේ ආච්චි සීයව බලන්න, නැත්නම් නොකිය ආව කියල ලොකු නඩුවකට පැටලෙන්න වෙන වග ෂුවර්.... හැබැයි ඒ දෙන්නට නම් මාව පැටලුනා. "ඇති යන්තම් උඹ රැවුල කපල"... මම "අහ් මම ද... හික්z මම ඉතින් එදා ඉදන් එහෙමනේ ආච්චියෙ...." කිව්වාම තමයි එයාලට තේරුනේ මම මල්ලි නෙමෙයි අයිය කියල... එකම මූණ කට තිබ්බ ත් අපි දෙන්න වෙනස් උනේ... මට මේ පාර ගෙන්න අමතක වුනු රා කළයක් තරම් බඩ ගෙඩිය නිසා වෙන්න ඇති.... එයාලගේ සතුට කඳුළු වෙන තරමටම මාව ඒ අත් වලින් වැළඳ ගත්තා...
පහු වෙනිදා ඉඳන් තමයි හා හා පුරා කියල කට්ටියව පුදුම කරන්න ගත්තේ... සමහර කෙනෙක්ට ඒක පුදුමයක් නොවෙන තරමට අපි කිට්ටු වෙලා තිබුණා. ඒ කෙනෙක්ට මගේ එක්ක වචනයක් කතා නොකර හිටපු ඒ පැය විස්ස මම ඉන්නේ ලංකාවේ කියල ටක්කෙටම අනුමාන කරන්න තරම් හැකියාවක් තිබ්බ... ඒ කන් වලින් රිංගන්න මට කවදාවත් බැරි වේවි.... මං මට ම කියා ගත්ත... පුළු පුළුවන් හැම කෙනාටම වචයක් හරි කතා කරන්න මම උත්සහ කළා. මගේ කෙලි යාළුවො ටික නම් පොඩ්ඩක් පොඩ්ඩක් විතර බය කළා... කෙල්ලෝ පොඩ්ඩ වෙන කොට ගැස්සෙන උදවිය නේ... තව පොඩ්ඩෙන් උන්ගේ අයිතියාකරයන් ගෙන් අම්බානෙක කන්න වෙනාවා... හොඳ වෙලාවට කාර්ඩ් එක කිව්ව ගමන්.... "ආනේ.... කවද්ද ආවේ.... ඉතින් ඉතින්" කියා අපේ පරණ මචන් talk ටික පටන් ගත්තා. සමහරුන්ගේ නම් phone නොම්බර දැන් භාවිතේත් නෑලු. සමහරක් අද කසාද බැඳලා උන් අද තාත්තල අම්මල. සමහරු වෙන්ඩ තාත්තලා අම්මල. ගොඩක් දෙනා ලොකු ලොකු පුටුවල. සමහරුන් ව අල්ලන්න appointments දාන්න ඕනේ තරමට උන් බිසී. ඒ වෙලාවට, මේ එදා ඉස්කෝලේ, ක්ලාස් එකේ, ලෙක්චර්ස් වලදී පිස්සු කෙළපු ඌ මද කියලත් හිතෙනවා. හොඳා හොඳා උන්ට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමයි. මොනවා උනත් උන්ගේ බොක්ක හොඳයි කියලා සතුටු උනා....
මගේ ගමන ගැන යන්තමින් හරි මේ blog එකේ ඉඟි වලින් තේරුම් අරන් හිටි, අ.පේ. හිතාදර ඇන්ඩා AKA ඕනයාත් මාව බලන්න ආව.... අපි කලින් දැකලා තිබ්බේ නෑ... කතා කරලා තිබ්බේ නෑ... හිත හොඳ අයියන්ඩි.... සෙට් වෙන්න වටිනා බුවෙක්.... (දැන් ඔබා මාම මේකට මුකුත් නොකිය හිටියොත් තමා පුදුමේ...) ලොක්කටත් ජොබ් එකක් සෙට් වෙලා.... මේ වෙලාවේ එයාටත් හදවතින්ම සුබ පතන්න ඕනේ.... මේ වගේ blog ලෝකයේ දැන අඳුර ගත්තු දකින්න, කතා කරන්න ආස ගොඩක් අය හිටියත් ඒ ගොඩක් දෙනා ඉන්නේ පිට රටවල කියලා දැන ගන්න ලැබුනා... වෙලාවකට මේ හැම දෙයක් ම පුදුමාකාරයි... ජීවිතේට කතා නොකරපු, නොදැකපු අපි අද මේ හැම දෙයක් ම නිසා හුඟාක් ලං වෙලා... මට පාළුවක් තනිකමක් නොදැනෙනවා ඇත්තේ ඒකයි....
අවුරුදු ගානකට පස්සේ, මඩු පල්ලි යන්න ආසාවක් තිබ්බ.... කවදාවත් යන්න බැහැයි කියන අදි මදි කරන ගමනක් නෙමෙයි... විශ්වාසය බලාපොරොත්තුව පුදුමාකාර විදිහට වැඩි කරන, කතෝලිකයෙක් ජීවිතේ වරක්වත් යා යුතුම පුද බිමක්... මෙච්චර කාලෙකට දුන්නු හැම ආශිර්වාදයකටම ස්තුති කියල.... හිතේ තිබ්බ තවත් බලාපොරොත්තු ගොන්නක් ඔප්පු කළා.... ආයේ දවසක ඒ බලාපොරොත්තු සඵල කරගෙන ඒ පුද බිම වන්දනා කරන්න එන්න පොරොන්දු වෙලා එන්න ආව... හිතට ලොකු සැනසීමක් ගෙනාව ගමනක්...
ලංකාවේ හිටපු නැති ටිකේ ගෙදර අයට එහෙදි මෙහෙදී හම්බවෙච්ච ගුරුවරුත් මාව මතක් කරලා තිබ්බ... හේතුවක් ඕනේ ද ඉස්කෝලෙට යන්න, ගියා ඒ පැත්තේ එක සිකුරාදාවක. සිකුරිටි රූම් එකට ඔළුව දාල අන්කල් අඳුරනව ද? "මොකෝ නැත්තේ... මොකෝ නැත්තේ.... එහෙම අමතක වෙනවද ලොකු මහත්තයව... ඉතින් ඉතින්..." මම එයාලට ලොකු මහත්තයා උනේ කවදද කියල නම් මම දන්නේ නෑ ඒ සමහරක් දෙනා මාව පොඩි කාලේ ඉඳන් දන්නා උදවිය ඒ අයට මම තවමත් යතාර්ථයෙන් පොඩි එකෙකු විය යුතුය. කොහොමින් හරි උදේ 10 ට ඇතුලට ගිය මම එලියට ආවේ ඉස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න තියල. ඉස්කෝලෙදි පිටවල්, පස්සවල්, දනිස්ස වල්, අල්ල වල් වලට ආදරෙන් සලකපු ඒ සමහර ගුරුවරු අද හුඟාක් වයසට ගිහින්. සමහරු අපි අතරින් යන්න ම ගිහින්.... මාව දැකපු ඒ හැම ගුරුවරයෙක්ම පළලට වැඩුණු දෙඋරහිස් වලට අත තියල "පුතේ...." කියල විස්තර ටික අහද්දී පුදුමාකාර භක්තියක් එක්ක ලැබුණු ආශිර්වාදයක් ලැබුණ. ඉස්කෝලේ කාලේදී ඕනේ නැති ප්‍රශ්ණ අහනවා වැඩියි... කියල පන්තියට එන්න එපා කියපු, පොඩි පොඩි case නිසා හිත අමනාප තිබුණු ඒ හැම කෙනෙක් එක්ක ම කතා කළා. ඒ අය අද ගොඩක් වෙනස් වෙලා. ගුරුවරු ඒවා හිත්වල තියාගෙන ඉන්න අය නෙමෙයි කියල මට අද තේරෙනවා. ඒ අයගේ අවසාන වචනය උනේ... "පුතේ උඹට වරදින්නේ නෑ කවදාවත්.... ගිය තැන රටේ ගමේ නම තියල වරෙන්" ඒ කියපු ටික වචන ටික මට ඉදිරියේ දී හම්බ වෙන ඕනෑම බාධකයක් ජය ගන්න ශක්තියක්... ආශිර්වාදයක්... හැබැයි ඒ හැම ආශිර්වාදයක්ම මගේ වගකීම් යුතුකම් ගිණුමට බැර උනේ මාව ඒ හැම කෙනෙකුටම ලොකු ණය කාරයක් කරවන ගමන්... මට මේ ණය බර ගෙවන්න පුළුවන් වේවිද... ?
ලොකු ඉස්කෝලේ පැත්තේ ඉවර කරලා ප්‍රාථමික ය පැත්තට පල්ලම් බහින කොට ගොඩක් පන්ති ඇරිලා... හිතේ තිබ්බ මතකයන් අලුත් කර ගන්නත් එක වසරේ ඉඳන් හිටපු පන්තියක් පන්තියක් අතරේ ඇවිදගෙන ආව.... ජීවිතේ විභාගයකට පලවෙනි හා අන්තිම වතාවට (හේතුව අහන්න එපෝ...) ආගම paper එකේ ප්‍රශ්නයකට කොප්පක් ගැහුව ඒ 2 වසර පන්තිය, ඒ කෝප්ප ගහපු මමත් දල්පෙ ත් හිටිය පන්තිය, අද අලුත් වෙලා.. හැබැයි ඒ මතකයන් තාම ඒවායේ හිර වෙලා තියෙනවා... අදටත් ඒ හිටපු හැම ගුරුවරයෙක්ගේ ම නම් මතකයි.... ඉස්කෝලේ ඉවර වෙලා පොඩි උන් දූවිලි නාගෙන සෙල්ලම් කරනවා දැක්කම.... ඒ කාලේ අපි කොට්චර සැහැල්ලුවෙන් කාලය ගෙව්වද කියල මතක් වෙන කොට ආයෙත් ඒ කාලේ ආවනම් කියලත් හිතුන. හැබැයි ඒ පොඩි එවුන්ගේ වචන සෙට්, කරපු කියපු සමහර දේවල් නම් කිව්වේ ඒ පොඩි උන් අපිට කලින් ඉපදිච්ච ඇම්ඩන් අයිය ල කියල යි. එහෙම ඇවිදින ගමන් ශාලිත අයියගේ සින්දුවක් මතක් උනා...
සුළගේ ලෙලෙනා මල් සේ දඟ පා... අප පාසල් ගිය කා...ලයේ...
යාළුවො අද නැත වෙන අය එහි ඇත. කාලය මැව් වෙනසක අරුමේ....

සති අන්තේ ඉස්කෝලේ prefect බැචාලා ටික සෙට් උනා... එදාට පහුවෙනිද අපේ HP ගේ උපන්දිනේ... මම ආවේ කාලෙකට පස්සේ.... අපිට සෙට් වෙන්න හේතුවක් ඕනෙමද.... කස්ටිය සෙට් උනා... ක්‍රිකට් පිති අරන් ගිහින් මීගමු වැල්ලේ එල්ලේ ගහන්න වෙනව යි කියල තේරුනාම වොලි බෝල් වට 3-4 ක් ගහලා ඇඟේ හිරි අරගෙන අපි ගත කරපු දවස, කතා කරපු, කියපු දේවල් වචන වලට පෙරලන්න ගහින් ගත්ත fun එක බාල වෙන නිසා මම මෙතනින් ඒ ටික නවත්වනවා.... ආයේ සතියේ මැද පන්තියේ ලඟින් ම ආශ්‍රය කරපු පස් හය දෙනා සෙට් උනා.... ඒ වරුවත් එකම එක ම fun ලෝකයක්.... නීතිය, බැංකු, ගුරුවරු, IT, වෙළද, දේශපාලන අංශ වල එකතුවක්.... ඒ වෙච්ච රස බර කතා පුළු පුළුවන් වෙලාවට අන්තිම පේලියට ලියල දාන්න ඕනේ...
මගේ පිට රට ඉන්න යාළුවන්ට, වැඩ කරන තැන කට්ටියට ටොපි චෝකොලට් වෙනුවට වෙනසකටත් එක්ක ආස්මි, කොකිස්, ජින දාසගේ තල ගුලි, පැණි කජු ටිකකුත් අරන් මම එන්න ආව... කොකිස් (කෝ kiss) දී office එකේ කෙල්ලන්ගෙන් කිස් එකක් ඉල්ලන්ට හිතා උන්නද... ආස්මි (Ass Me) දී ඉලන්න වෙන දේ නිසා... උන්ට ඒ නම් නොකියන්න හිතා ගත්ත... කවදාවත් වෙන් වීමකදී අඬපු නැති මම මේ පාර හුඟක් සංවේදී උනා... ඒකට ගොඩක් හේතු හිතේ හිර වෙලා තියෙන්න ඇති.... ඒ පොඩි කාලේ ඉඳන් බොක්කෙන් ආශ්‍රය කරපු, ජීවිතේට අහම්බෙන් හම්බ වුනු, ජීවිතේ දවසකදී දුක බෙදා ගන්න, සතුට විඳින්න, ආදරය කරන්න ඉන්න ඒ හැම කෙනෙකුවම දාල ඈතකට යන්න වෙනව කියල දැනුන නිසා වෙන්න ඇති.... අද මම තනියෙන් මගේ ගමනේ... හැබැයි දැන් දුකක් නෑ... සරත් අයියගේ windows දුක නිවීමේ ක්‍රමයට හිත හදා ගත්තා.
කවදා හරි මේ ඔක්කොම ලස්සනට ඉවර කරලා, ඒ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු සඵල කරලා ආයේ ඒ හැම කෙනෙක්වම බලන්න යන්න දවස එනකම් මං අද දින ගනිනවා....