12/08/2011

කලකට පසු ලංකාවට ගියෙමි

හුඟ කාලෙකින් මොනවත් ම ලියන්න බැරි උනා... එකක් ගුලියා පහුගිය දොහේ හිටියේ ලංකාවේ. ලංකාවේ දී සිංහල බැරුව එහෙම නෙමෙයි... බ්ලොග් එකට ලියනවා තියා කතා කර ගන්නවත් බැරි තරමට වැඩ තිබුණා. ඒ ලංකා ගමනේ ආ ගිය තොරතුරු ටිකක් බෙදා ගන්නලත් එක්ක ල ලියන්න හිතුව හිතට ආපු දේවල් ටිකක්.... ඔන්න ඔහේ ලියනවා...

කොහොමින් ගුලියා ලංකාවට ගියේ හුඟ කාලෙකට පස්සේ... අවුරුදු දෙකක් නත්තල , පල්ලියේ මංගල්‍ය ට ලංකාවේ හිටියේ නැති නිසා පවුලේ කට්ටිය එක්ක,  ලඟම යාළුවො ටික එක්ක කාලය ගත කරන්නත්, අනාගතේ ගැන පොඩි පොඩි තීරණ කටයුතු කාරණා ටිකක එකලාසයක් කර ගන්නටත් එක්කල ගිය බලාපොරොතු වලින් උතුරා ගිය ගමනක්. ලඟම යාළුවො විතරක් කිව්වේ අනිත් යාළුවො අමතක වෙලා නෙමෙයි... ඒ හැම කෙනෙක්වම හම්බ වෙන්න මේ නිවාඩුව ගොඩක් පොඩි කාලයක් කියල හොඳටම දැනගෙන හිටිය නිසා. ලංකාවට එන යන දිනයවත් දැනන් හිටියේ ගෙදර කට්ටිය විතරයි. එහෙම කළෙත් කාටවත් හොරෙන් ඇවිත් හොරෙන්ම යන්නවත් තියන අදහසකින් නෙමෙයි උනත්... ඒ කාව කාවත් පොඩ්ඩක් හරි පුදුම කරන්න හිතේ තිබ්බ චූටි ආසාවකට.

ලංකාවේ air port එක හුඟක් වෙනස් වෙලා... පටු තීරුවක් දිගේ ඇවිත් එක පාර මහා සෙනගක් ඉඳන් ඉන්න අලුත් කොටසට ආපුවම එක පාර මොකද්දෝ ලොකු තිගැස්මක් ආවත්... ඒ ඔක්කොම යට කරන් ආපු සුපුරුදු කට හඬක් මාව එක පාර නැවැත්තුව.... ඒ තාත්ත... මම එදා ලංකාවෙන් යන දවසේ bypass සැත්කමක් කරලා ගෙදරට වෙලා හිටපු, මම යනකොට මට එයාල නැතුව මාස තුනක් වත් ඉන්න බැරි වෙයි, මම හැරිලා ඒවි කියල වීරයෙක් වගේ හිත හදාගත්ත ඒ තාත්ත මාව දැකල අඬන්න ගත්තාම මට ත් ඉවසුම් නැතුව ගියා. ඔව් මටත් එහෙම ඉන්න පුළුවන් වුනා නෙමෙයි... ඒ ගෙවුණු කාලයේ දී මම කොහොම ඒ හැම දවසක්ම ගෙව්වාද කියල මතක් කරන්න උත්සහ කරන ගමන් එළියේ හිටපු අම්මත් මල්ලිත් ඉන්නා දිහාට ඇවිදගෙන ගියා.... පොඩි දරුවෙක් තාත්තෙක් අම්මෙක් දිහාට දුවගෙන ඇවිත් බෙල්ලේ එල්ලෙනවා වගේ... අම්ම මගේ බෙල්ලේ එල්ලෙනකොට මම අද කර දඬු උස් වුනු ලොකු මිනිහෙක් කියල මට දැනුනා... එත් මම තාම ඒ දෙමව්පියෝ ඉස්සරහ පොඩි එකෙක්.... ඊළඟට ඉන්නේ මනමාල මල්ලි පොඩ්ඩ... පොඩි කාලේ මකන කෑල්ලකට උනත් රණ්ඩු වුනු අපි අද පුදුමාකාර විදිහට වෙනස් වෙලා.... ඒ මව් පිය සෙනෙහස, අපේ සහෝදර කමේ උණුසුම දෝහා වලදී flight එක miss වෙච්ච නිසා ඒ වෙහෙසෙන් තෙත් බරිත වුනු මගේ කමිසය තවත් තෙත් කළා... එතනින් කෙලින් ම ගියේ ආච්චි සීයව බලන්න, නැත්නම් නොකිය ආව කියල ලොකු නඩුවකට පැටලෙන්න වෙන වග ෂුවර්.... හැබැයි ඒ දෙන්නට නම් මාව පැටලුනා. "ඇති යන්තම් උඹ රැවුල කපල"... මම "අහ් මම ද... හික්z මම ඉතින් එදා ඉදන් එහෙමනේ ආච්චියෙ...." කිව්වාම තමයි එයාලට තේරුනේ මම මල්ලි නෙමෙයි අයිය කියල... එකම මූණ කට තිබ්බ ත් අපි දෙන්න වෙනස් උනේ... මට මේ පාර ගෙන්න අමතක වුනු රා කළයක් තරම් බඩ ගෙඩිය නිසා වෙන්න ඇති.... එයාලගේ සතුට කඳුළු වෙන තරමට මාව ඒ අත් වලින් වැළඳ ගත්තා...

පහු වෙනිදා ඉඳන් තමයි හා හා පුරා කියල කට්ටියව පුදුම කරන්න ගත්තේ... සමහර කෙනෙක්ට ඒක පුදුමයක් නොවෙන තරමට අපි කිට්ටු වෙලා තිබුණා. ඒ කෙනෙක්ට මගේ එක්ක වචනයක් කතා නොකර හිටපු ඒ පැය විස්ස මම ඉන්නේ ලංකාවේ කියල ටක්කෙටම අනුමාන කරන්න තරම් හැකියාවක් තිබ්බ... ඒ කන් වලින් රිංගන්න මට කවදාවත් බැරි වේවි.... මං මට ම කියා ගත්ත... පුළු පුළුවන් හැම කෙනාටම වචයක් හරි කතා කරන්න මම උත්සහ කළා. මගේ කෙලි යාළුවො ටික නම් පොඩ්ඩක් පොඩ්ඩක් විතර බය කළා... කෙල්ලෝ පොඩ්ඩ වෙන කොට ගැස්සෙන උදවිය නේ... තව පොඩ්ඩෙන් උන්ගේ අයිතියාකරයන් ගෙන් අම්බානෙක කන්න වෙනාවා... හොඳ වෙලාවට කාර්ඩ් එක කිව්ව ගමන්.... "ආනේ.... කවද්ද ආවේ.... ඉතින් ඉතින්" කියා අපේ පරණ මචන් talk ටික පටන් ගත්තා. සමහරුන්ගේ නම් phone නොම්බර දැන් භාවිතේත් නෑලු. සමහරක් අද කසාද බැඳලා උන් අද තාත්තල අම්මල. සමහරු වෙන්ඩ තාත්තලා අම්මල. ගොඩක් දෙනා ලොකු ලොකු පුටුවල. සමහරුන් ව අල්ලන්න appointments දාන්න ඕනේ තරමට උන් බිසී. ඒ වෙලාවට, මේ එදා ඉස්කෝලේ, ක්ලාස් එකේ, ලෙක්චර්ස් වලදී පිස්සු කෙළපු ඌ මද කියලත් හිතෙනවා. හොඳා හොඳා උන්ට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමයි. මොනවා උනත් උන්ගේ බොක්ක හොඳයි කියලා සතුටු උනා....

මගේ ගමන ගැන යන්තමින් හරි මේ blog එකේ ඉඟි වලින් තේරුම් අරන් හිටි, අ.පේ. හිතාදර ඇන්ඩා AKA ඕනයාත් මාව බලන්න ආව.... අපි කලින් දැකලා තිබ්බේ නෑ... කතා කරලා තිබ්බේ නෑ... හිත හොඳ අයියන්ඩි.... සෙට් වෙන්න වටිනා බුවෙක්.... (දැන් ඔබා මාම මේකට මුකුත් නොකිය හිටියොත් තමා පුදුමේ...) ලොක්කටත් ජොබ් එකක් සෙට් වෙලා.... මේ වෙලාවේ එයාටත් හදවතින්ම සුබ පතන්න ඕනේ.... මේ වගේ blog ලෝකයේ දැන අඳුර ගත්තු දකින්න, කතා කරන්න ආස ගොඩක් අය හිටියත් ඒ ගොඩක් දෙනා ඉන්නේ පිට රටවල කියලා දැන ගන්න ලැබුනා... වෙලාවකට මේ හැම දෙයක් ම පුදුමාකාරයි... ජීවිතේට කතා නොකරපු, නොදැකපු අපි අද මේ හැම දෙයක් ම නිසා හුඟාක් ලං වෙලා... මට පාළුවක් තනිකමක් නොදැනෙනවා ඇත්තේ ඒකයි....

අවුරුදු ගානකට පස්සේ, මඩු පල්ලි යන්න ආසාවක් තිබ්බ.... කවදාවත් යන්න බැහැයි කියන අදි මදි කරන ගමනක් නෙමෙයි... විශ්වාසය බලාපොරොත්තුව පුදුමාකාර විදිහට වැඩි කරන, කතෝලිකයෙක් ජීවිතේ වරක්වත් යා යුතුම පුද බිමක්... මෙච්චර කාලෙකට දුන්නු හැම ආශිර්වාදයකටම ස්තුති කියල.... හිතේ තිබ්බ තවත් බලාපොරොත්තු ගොන්නක් ඔප්පු කළා.... ආයේ දවසක ඒ බලාපොරොත්තු සඵල කරගෙන ඒ පුද බිම වන්දනා කරන්න එන්න පොරොන්දු වෙලා එන්න ආව... හිතට ලොකු සැනසීමක් ගෙනාව ගමනක්...

ලංකාවේ හිටපු නැති ටිකේ ගෙදර අයට එහෙදි මෙහෙදී හම්බවෙච්ච ගුරුවරුත් මාව මතක් කරලා තිබ්බ... හේතුවක් ඕනේ ද ඉස්කෝලෙට යන්න, ගියා ඒ පැත්තේ එක සිකුරාදාවක. සිකුරිටි රූම් එකට ඔළුව දාල අන්කල්  අඳුරනව ද? "මොකෝ නැත්තේ... මොකෝ නැත්තේ.... එහෙම අමතක වෙනවද ලොකු මහත්තයව... ඉතින් ඉතින්..." මම එයාලට ලොකු මහත්තයා උනේ කවදද කියල නම් මම දන්නේ නෑ ඒ සමහරක් දෙනා මාව පොඩි කාලේ ඉඳන් දන්නා උදවිය ඒ අයට මම තවමත් යතාර්ථයෙන් පොඩි එකෙකු විය යුතුය. කොහොමින් හරි උදේ 10 ට ඇතුලට ගිය මම එලියට ආවේ ඉස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න තියල. ඉස්කෝලෙදි පිටවල්, පස්සවල්, දනිස්ස වල්, අල්ල වල් වලට ආදරෙන් සලකපු ඒ සමහර ගුරුවරු අද හුඟාක් වයසට ගිහින්. සමහරු අපි අතරින් යන්න ම ගිහින්.... මාව දැකපු ඒ හැම ගුරුවරයෙක්ම පළලට වැඩුණු දෙඋරහිස් වලට අත තියල "පුතේ...." කියල විස්තර ටික අහද්දී පුදුමාකාර භක්තියක් එක්ක ලැබුණු ආශිර්වාදයක් ලැබුණ. ඉස්කෝලේ කාලේදී ඕනේ නැති ප්‍රශ්ණ අහනවා වැඩියි... කියල පන්තියට එන්න එපා කියපු, පොඩි පොඩි case නිසා හිත අමනාප තිබුණු ඒ හැම කෙනෙක් එක්ක ම කතා කළා. ඒ අය අද ගොඩක් වෙනස් වෙලා. ගුරුවරු ඒවා හිත්වල තියාගෙන ඉන්න අය නෙමෙයි කියල මට අද තේරෙනවා. ඒ අයගේ අවසාන වචනය උනේ... "පුතේ උඹට වරදින්නේ නෑ කවදාවත්.... ගිය තැන රටේ ගමේ නම තියල වරෙන්" ඒ කියපු ටික වචන ටික මට ඉදිරියේ දී හම්බ වෙන ඕනෑම බාධකයක් ජය ගන්න ශක්තියක්... ආශිර්වාදයක්... හැබැයි ඒ හැම ආශිර්වාදයක්ම මගේ වගකීම් යුතුකම් ගිණුමට බැර උනේ මාව ඒ හැම කෙනෙකුටම ලොකු ණය කාරයක් කරවන ගමන්... මට මේ ණය බර ගෙවන්න පුළුවන් වේවිද... ?

ලොකු ඉස්කෝලේ පැත්තේ ඉවර කරලා ප්‍රාථමික ය පැත්තට පල්ලම් බහින කොට ගොඩක් පන්ති ඇරිලා... හිතේ තිබ්බ මතකයන් අලුත් කර ගන්නත්  එක වසරේ ඉඳන් හිටපු පන්තියක් පන්තියක් අතරේ ඇවිදගෙන ආව.... ජීවිතේ විභාගයකට පලවෙනි හා අන්තිම වතාවට (හේතුව අහන්න එපෝ...) ආගම paper එකේ ප්‍රශ්නයකට කොප්පක් ගැහුව ඒ 2 වසර පන්තිය, ඒ කෝප්ප ගහපු මමත් දල්පෙ ත් හිටිය පන්තිය, අද අලුත් වෙලා.. හැබැයි ඒ මතකයන් තාම ඒවායේ හිර වෙලා තියෙනවා... අදටත්  ඒ හිටපු හැම ගුරුවරයෙක්ගේ ම නම් මතකයි.... ඉස්කෝලේ ඉවර වෙලා පොඩි උන් දූවිලි නාගෙන සෙල්ලම් කරනවා දැක්කම.... ඒ කාලේ අපි කොට්චර සැහැල්ලුවෙන් කාලය ගෙව්වද කියල මතක් වෙන කොට ආයෙත් ඒ කාලේ ආවනම් කියලත් හිතුන. හැබැයි ඒ පොඩි එවුන්ගේ වචන සෙට්, කරපු කියපු සමහර දේවල් නම් කිව්වේ ඒ පොඩි උන් අපිට කලින් ඉපදිච්ච ඇම්ඩන් අයිය ල කියල යි. එහෙම ඇවිදින ගමන් ශාලිත අයියගේ සින්දුවක් මතක් උනා...

සුළගේ ලෙලෙනා මල් සේ දඟ පා... අප පාසල් ගිය කා...ලයේ...
යාළුවො අද නැත වෙන අය එහි ඇත. කාලය මැව් වෙනසක අරුමේ....
වත්ත පැත්තේ යන්න අමතක කලෙත් නෑ... පහුගිය කාලයටම විඳින්නන බැරි උණු ඒ සුන්දර ගැමිකම ආයේ මා ලඟට ගෙනාව කියල දැන දැන එහෙ නොයා ඉන්න පුළුවන් ද? තෙල් දාපු කරවල ටිකට හින්දල හදපු පරිප්පු හොද්දත්, පොල් සම්බෝල ටිකත් බැදපු වැව් මාළු ටිකක් කන්න හම්බ වුනේ කොට්චර කාලයක ට පස්සේ ද? ලොකු බබා ඇවිත් නේ.... ඒ වැඩ කරන මිනිසුන්ගේ කසු කුසුව, රහසක් කියන්න වගේ කතා උනත් ඒ හැම දෙයක්ම කනට ඇහෙන කොට ඒ මිනිස්සු ගාව තියෙන අව්‍යාජ බව හිත ඇතුලට ම වදිනවා.... දෙමළ සිංහල කට්ටිය එකට ඉන්නවා දැක්කාම... ලංකාවේ යුද්ධයක් තිබ්බද කියලත් හිතුනා.... ඒ මිනිස්සු ගාව පරණ කෝන්තර මොනවත් නෑ... ඒ හැම කෙන්ක්ට ම තියෙන්නේ එකම යුද්ධයයි... ජීවිතේ කියන යුද්ධය... ඒ අතර සමහරුන් මාව පොඩි කාලේ ඉඳන් දන්නා අය. සමහරු මාව දැක්කෙත් එදාමයි. තවත් සමහරුන්ට මාව දකින්නවත් බැරිවුනා. ඒ අය call එකක් දීල හරි මට මට කතා කළා.  ඒ හැම කෙනෙක් ගාව ම පුදුමාකාර ලෙන්ගතු කමක් තිබුණා. සෑර්.... කියල බුලත් වලින් කහ වුනු දත් පෙන්වලා හිනා වෙලා කපා දුන්නු තැඹිලි ගෙඩියේ ලොඳ යේ පවා ඒ ආදරය ලෙන්ගතු කම පිරිලා තිබ්බ. ඒ හැම කෙනෙක්ට ම මට වචනයකින් නොකී ව  හදවතින් පැතු ආශිර්වාදයක් මට ලැබෙන කොට මම කොට්චර වාසන්නාවන්තයෙක්ද කියල හිතුනා... ඒ හිටිය දවස් දෙකට කොළඹ තියෙන කොන්ක්‍රීට් රස්නය නැති උනත්... හිතං මවා ගත්ත රස්නය හේතුවක් කරගෙන පහල ලිඳෙන් දවසට දෙපාරක් වත් නාගන්න ඕනේ උනා... නොනැවතී දොරේ ගලා යන ඒ ලිඳෙන් දෙකට නැමිලා අතින් ඇදලා අරන් නාගන්න කොට තියෙන සීතල සනීපය මේ ලෝකේ සල්ලි වලට ගන්න පුළුවන් සැපක් නෙමෙයි...



සති අන්තේ ඉස්කෝලේ prefect බැචාලා ටික සෙට් උනා... එදාට පහුවෙනිද අපේ HP ගේ උපන්දිනේ... මම ආවේ කාලෙකට පස්සේ.... අපිට සෙට් වෙන්න හේතුවක් ඕනෙමද.... කස්ටිය සෙට් උනා... ක්‍රිකට් පිති අරන් ගිහින් මීගමු වැල්ලේ එල්ලේ ගහන්න වෙනව යි කියල තේරුනාම වොලි බෝල් වට 3-4 ක් ගහලා ඇඟේ හිරි අරගෙන අපි ගත කරපු දවස, කතා කරපු, කියපු දේවල් වචන වලට පෙරලන්න ගහින් ගත්ත fun එක බාල වෙන නිසා මම මෙතනින් ඒ ටික නවත්වනවා.... ආයේ සතියේ මැද පන්තියේ ලඟින් ම ආශ්‍රය කරපු පස් හය දෙනා සෙට් උනා.... ඒ වරුවත් එකම එක ම fun ලෝකයක්.... නීතිය, බැංකු, ගුරුවරු, IT, වෙළද, දේශපාලන අංශ වල එකතුවක්.... ඒ වෙච්ච රස බර කතා පුළු පුළුවන් වෙලාවට අන්තිම පේලියට ලියල දාන්න ඕනේ...

මගේ පිට රට ඉන්න යාළුවන්ට, වැඩ කරන තැන කට්ටියට ටොපි චෝකොලට් වෙනුවට වෙනසකටත් එක්ක ආස්මි, කොකිස්, ජින දාසගේ තල ගුලි, පැණි කජු ටිකකුත් අරන් මම එන්න ආව... කොකිස් (කෝ kiss) දී office එකේ කෙල්ලන්ගෙන් කිස් එකක් ඉල්ලන්ට හිතා උන්නද... ආස්මි (Ass Me) දී ඉලන්න වෙන දේ නිසා... උන්ට ඒ නම් නොකියන්න හිතා ගත්ත... කවදාවත් වෙන් වීමකදී අඬපු නැති මම මේ පාර හුඟක් සංවේදී උනා... ඒකට ගොඩක් හේතු හිතේ හිර වෙලා තියෙන්න ඇති.... ඒ පොඩි කාලේ ඉඳන් බොක්කෙන් ආශ්‍රය කරපු, ජීවිතේට අහම්බෙන් හම්බ වුනු, ජීවිතේ දවසකදී දුක බෙදා ගන්න, සතුට විඳින්න, ආදරය කරන්න ඉන්න ඒ හැම කෙනෙකුවම දාල ඈතකට යන්න වෙනව කියල දැනුන නිසා වෙන්න ඇති.... අද මම තනියෙන් මගේ ගමනේ... හැබැයි දැන් දුකක් නෑ... සරත් අයියගේ windows දුක නිවීමේ ක්‍රමයට හිත හදා ගත්තා.

කවදා හරි මේ ඔක්කොම ලස්සනට ඉවර කරලා, ඒ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු සඵල කරලා ආයේ ඒ හැම කෙනෙක්වම බලන්න යන්න දවස එනකම් මං අද දින ගනිනවා....

21/06/2011

අම්මාට සුභ උපන් දිනයක්

ඊයේ (19) මගේ අම්මිගේ උපන් දිනේ. ඔව් ! ඔව් ! අම්මි, අම්මා, මමා, මමී ඔය හැම එකක්කින්ම කියවෙන්නේ එකම කෙනෙක් ගැන නේ. මේ ඒ ආදරණීය අම්මා වෙනුවෙන් තබන සටහනක්.

පහුගිය සතියේ මගේ මිත්‍ර ජෝ මාව බලන්න ආවා. වෙනදට මිනිහගේ මූණ පුරාවට නිර්ලෝබීව පිරී තිබුණු හිනාව එදා මට පෙනුනේ බලහත්කාරයෙන් මූණේ රැදවූවක් වගෙයි. මිනිහ දවල්ට කාල හිටියෙත් නෑ. ඒ නිසා කන්න සැන්ඩ්විච් පෙති දෙකක් ටෝස්ට් කරගත්ත අපි දෙන්නා මිදුලේ බැංකුවකට වාඩිවෙනවාත් එක්කම ජෝ කටහඩ අවදි කලා.


"මමත් දැන් උඹ වගේම කුලී ගෙදරක ඉන්නේ. මම ගෙදරින් පිට උනා"

මගේ දෙඇස් උඩ ගියේ මටම නොදැනී. එය ජෝට කතාවේ ඉතුරු ටිකත් කියන්න මටම නොදැනී මගේ හිත දුන්නු ඉගියක් වෙන්න පුළුවන්.

ජෝ එතනින් එහාට කිව්ව ටික තමයි මේ...

"මම අවුරුදු 17 දී රස්සාවක් කරලා පඩි හම්බුනු පලවෙනි මාසේ ඉස්සෙල්ලම කරන්න ඕන උනේ, මටයි කියල ස්ථාවර ඉතුරුම් ගිණුමක් තියා ගන්න. ඒත් බැංකුවට ගියාම මගේ වයස මදි නිසාත්, බැංකුවෙන් දීපු යෝජනාව නිසාත් මම මගේ අම්මට කිව්ව මම වෙනුවෙන් ගිණුම අරඹන්න කියල, මම හැම මාසෙම එයාගේ ගිණුමට මගේ පඩියෙන් පවුම් 75ක ස්ථාවර නියෝගයක් (Standing Order) දැම්ම. ගිය මාර්තුවේ මගේ උපන්දිනේදී තමයි මට මතක් උනේ මටත් දැන් අවුරුදු 27ක්‌ මෙට්චර කල් මම එකතු කරපුවයින් කසාදයක් කරගෙන මගෙමයි කියල ගෙදරකට යන්න කලවයසත් හරි නේද කියල. ඉතින් එදා මම අම්මට මතක් කළා වෙලාවක බැංකුවට ගිහින් ඒ ගිණුමෙන් සල්ලි ටික ගන්නත් ඕනේ වග. මාසයක් විතර එක එක වැඩ නිසා කල් ඇදුනු මේ වැඩේ අහවරක් කරන්න තකහනියක් නිවාඩුවක් දාල අම්මත් එක්ක  බැංකුවට ගියා. ගියා නෙමෙයි ඇදගෙන ගියා... ඇත්තටම"

මද නිහැඩියාවකින් සුසුම්ලෑ ජෝ


"බැංකුවේ දොරකොඩදී මගේ අම්මා මට කිව්ව, ජෝ මට පොඩි පාපොචාරණයක්‌ කරන්න තියෙනව උඹට... මගේ අතින් ඒ සල්ලි ටිකක් වියදම් උනා.... කියල  මාව තිගැස්සුණ... ඒත් මගේ අම්මනේ කියල මම කිව්ව හරි ප්‍රශ්නයක් නෑ අපි තියෙන දෙයක් අරගෙන යමු... ඒත් අම්මගේ නිහැඩියාව මට කීවේ මෙතුවක් කාලයකට එකතු වී තිබිය යුතු පවුම් 9000 හෝ එහි පොලී තියා  (පවුමක් අද රු 180ක්‌) මගේ ගිය මාසේ පවුම් 75 වත් ඉතුරු වෙලා නැති බවයි." ජෝ තම මව සමග ගෙදරවුත් මේ බව තම විශ්‍රාමික පියා හා ලොකු නංගී සමග කියූ විට නංගී "අනේ මාව ඕවට ගාව ගන්න එපා. මට කරන්න දෙයක් නෑ" කියා යන්නට ගිහින්. පියාද තම අවරුදු 10ක් වූ නැගණිය පෙන්වා... "පොඩි එකී නැත්නම් මම ඔය ගෑනිව දාල ගිහින් මීට හුඟක් කල්"... නිරුත්තර ජෝ "උඹ මගේ සල්ලි හොරකම් කලේ ඇයි??" ඇසූ විට මව පිළිතුරු දෙමින් "උඹට ඕනා නම් එහෙම හිතා ගනින්"...  කියලත් අද වෙන තුරුත් සමාවෙයන් කියලවත් කියන්න උත්සහ කරලා නෑ.


වචයකුදු නොකීව ජෝ ඇඳිවත හා තම වාහනයේ යතුර ගෙන හිසලූ අත යමින් අවසානයේ තම මිතුරුකට කුලී ගෙවන්නට පොරොන්දු වෙමින් එහි නැවතී ඇත. ජෝගේ
ප්‍රශ්නය "මම මගේ අම්මගේ තාත්තගේ ගෙදර ඉන්නට කුලියක් ද ගෙව්වෙමි. වියදමටයි කියා අම්මට වියදම් කාසිද දුනිමි. මා කුසින් වදාපු අම්මා ඇයි මට මෙහෙම කලේ. අඩුම තරමින් පස්සේ හොයල බලපුවම මේ අවුරුදු 10ටම මගේ නමින් ඉතිරි කිරීම් ගිණුමවත් විවෟත කරලවත්  තිබ්බේ නෑ." ජෝ නාඩයි. ඒත් ඇස් දිලිසෙයි....

මට මාවම අමතක විය. පපුව හෝස් ගා දැවෙයි. කිව නොහැකිව ගොළු වූ බවකින් පෙළෙයි. අනේ මගේ අම්මා යන්න හිතේ දොන්කාර දෙයි.


ඈ...
 
මගේ හෝ මල්ලිගේ මේසය මතවූ පෑනක් පැන්සලක් ගන්නේද දෙතුන් වතාවක් අසාය. විටෙක එය කරදරයකි. "ඕකත් අහන්න දෙයක් ද" කියා සැර වුනු වාර කොපමණ ඇත්ද ? සෙනසුරාදා රෑ වන්නට  පන්ති නිම වී ගෙදර එන මගේ මේසය මත 4ට නැමී පෙඟී ගිය 10යේ හෝ 20සේ නෝට්ටුවක් සමග මාරු කාසි කීපයකි. (පසු කලෙක පෙඟී ගිය දෙන්නට බැරි වූ පෙම් හසුනකි. බොඳවී ගිය නිසා අදටත් ඇය ඒ බව නොදනී) ඒ මගේ ඉස්කෝලේ කලිසම් කමිස ඈ හේදුවා කියන සංඛ්තයයි. සෙල්ලම් කරමින් ඉන්න විටෙක "පුතේ.. හොඳ පුතා වගේ... ප්‍රියන්ති නැන්දලගේ ගෙදර ගිහින් උඹට නොම්බරයක් දේවි ඒක
අරන් එන්න"... "මොන මළ කරදරයක් ද අප්පා කෝල් එකක් දීල අහගන්නකෝ..."  ඒ සීට්ටු දැමීම ගැන මගේ නොදැනුවත්කමින් අම්මට දුන් පිළිතුරයි. මට සීට්ටු දැමීමේ ඇති වාසියක් තවමත් නොතේරෙයි. මගේ 21වන උපන් දිනය දා... එතුවක් කාලයකට, පළමුව ජේසුට පහන තියා විත් නිදියමින් හුන් මගේ හිස සිප ගෙන Happy Birthday පුතේ පමණක් කියූ ඈ, අගේ බැංකු පොත, ම අත තබමින්... "මම පුතාට ආස ලැප්ටොප් එකක් ගන්න මම සල්ලි එකතු කළා... මම ගණන් දන්නේ නෑ... මෙතන තියෙන ගාන මදි නම් කියන්නකෝ" කිව්වේද ඇයයි. පොඩ්ඩක් රොස් වුනු  මස් කරිය ගැන දොස් මුර දමා නොකා ඉන්නට යන මා  හිස පිරිමැද "සමාවෙයන් මගේ පුතේ".... කිය කියා බත් ටික ගුලි කර කුස ගිනි නිව්වේද ඇයයි.
මට තව කියන්නට හැකිය. ඒත් මගේ කඳුළු මට වාවන්නේ නැත.
ඇයට සුබ පතන්න මම දුරකථනයෙන් කතා කලෙමි. ඈට දෙන්නට... ඈ ආස කරන තෑග්ගක් මා නොදනී. ඒත් දුරකථනයේ එහා පසින්... "පුතේ  කවදද එන්නේ... අනේ පුතේ මුකුත් අරන් එන්න එපා.... ෂර්ට් කෑලි දෙකක් ඔතාගෙන එන්න.. මම පුතාව බලාගන්නවනේ... ටික දවසකට හරි අපි කට්ටිය ඔක්කොම එකට ඉමු" කියන්නේ ද ඇයයි. ඇයට දෙන්නට පුළුවන් ලොකුම තෑග්ග ඈ බලන්නට යාමයි.

සුභ උපන් දිනයක් වේවා අම්මේ....


අම්මි තාත්ති කඳානේ මංගල්‍යය දා
මට ඔවුන්ගේ උණුසුම ලබන තෙක් ඉවසුම් නැත.

11/06/2011

ජීවිතය සුන්දර ද මෙතරම්

අනන්තයේ එක දවසක, ජීවිතය දෙස ආපසු හැරී බලද්දී,
හැම මොහොතක්ම පූර්ණ නුමුදු ජීවිතය වෙනස්වී, වෙනස් වෙමින් තියේවි.
ආරම්භයක් හෝ අවසානයක් ගැන සොයන්නේ හෝ තැවෙන්නේ නැතිවේවි.
නිත්‍යයෙන් වෙනස්වූ වෙනස් වන ජීවිතය ගැන දුක් හෝ සුසුම් නොහෙලාවි.

සතුට සැප ඉදිරියේ සිර කරුවෙකු වූ මුත්, ජීවිතය මා සිර කලේ නැත.

දුක වේදනාව හමුවේ ඒකාකාරී  වූ මුත්, අත්දැකීම් වලින් නැවුම් බව ගෙනාවේය.
සියල්ල එපා වී ජීවිතය අත් හලමුත්, ජීවිතය මා අත් හලේද නැත.
දුක් වේදනා සැප සතුට ජීවිතය මිස, ජීවිතය මට උරුම නොකළ බව පසක් කර ගනිමි.

අනන්තයේ ඒ දවසේදී මම ප්‍රීතියෙන් උදම් ලමි, සතුටෙන් පිරී ඉහිරී යමි.

විඳි දුක් කරදර, සැප සම්පත මා පරිපූර්ණ කළ බව දැන ඒ ගැන සතුටු කඳුළු හෙලමි.
මම නොව මේතාක් ජීවිතය මා ජීවත් කළ බව දැන, ජීවිතයට පූජා කරමි.
ගෙවුණු අඳුරු කාලයන් හෝ මැව් සිහිනයන් ගැන නොව, මම අද ජීවිතය ජීවත් කරවමි.




03/06/2011

මමද එක්වෙමි

මමත් මගෙමයි කියල පුංචි බ්ලොග් පිටුවක් ලියන්න අද ඉඳන් හිතා ගත්තා.... මේ දේ කරන්න කොතරම් දැනුම තිබ්බත්, ඒකට මේතාක් වෙනකම් අවශ්‍යතාවක් උනේ නෑ... ඊටත් වඩා උවමනාවක් තිබුනෙත් නෑ කිව්වොත් හරි.. එත් අන්තිම පේලිය, නිහාල් ගුරුසින්හයන්ගේ යතාර්තවාදියා සහ සැබෑ මිනිසා, දුකා, මනුස්සකම, ගොඩගේ වංහුං හා තවත් එහෙන් මෙහෙන් කියෙව්ව බ්ලොග් පිටු පරිහරනනය නිසා හිතේ මන්ඩි වෙලා තිබුණු, වර්තමානයෙන් යටවෙලා තිබුණු හුඟක් දේවල් හිත් සාගරයේ කැළබෙන්න ගත්තා... කාලයත් සමග සියුම්ම්ව මතකයෙන් ඈත් වුනු බොහෝ දේ ලියන්නටත්, මෙතක් ආ මගදී හමුවූ අත්විඳි  ජීවිත අත්දැකීම් වලින් හැකි තරමක් බෙදා ගන්නටත් එකී මෙකී නොකී හිතට එන දේවල් ලියා දාන්න මගෙමයි කියල ඉඩක් තැනක් තිබුන නම් කියල හිතුන. හිතට එන හැමදේම කාට හරි කියන්න බෙදාගන්න ලොකු පුරුදක් නොතිබුනත්... මෑත කාලයේ ආ බ්ලොග් රැල්ලට මමත් අහුවෙලා හිතට එන දේ කියල හිතට හරියි කියල දැනෙන දේ කරලා මගේ ගාව හැංගිලා තිබුණු අවයාජ බවක් උලුප්පල ගන්න මට පුළුවන් උනා... අවුරුදු ගානක් පුරා මම නොවෙයි මම විදිහට ජීවත් වෙලා තවත් මොනවා කාට හන්ගන්නද කියල හිතුනෙත් මේ අතරෙදිමයි...  පසුකරමින් ආ පුදුමාකාර ජීවිතයෙදී... මේ කෙටි කාලයට ජීවිතේ කෙනෙකුට විඳින්න පුළුවන් අසීරුම දුක් ගැහැටත්..... කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම සැප සම්පත් තාන්න මාන්නත්.... දෙකම එක ලෙස ලබන්නට පින් කරපු මම අපසු හැරී බලද්දී මටත් කියන්නට දේවල් ඕනා තරම් තියෙන බව තේරුම් ගියා...

ඉතින් මේ පුංචි උත්සයක් පමණයි.... සිංහල බාසාව හසුරුවන්න සහජ හැකියාවක් තිබුනත් කාලයත් සමග එය මොට්ට වෙලාද කියා කියා.... මම මේ ලියන ඒවා කවුරු කියවයිද හිත හිතා.... කාටද අනේ මගේ බයිලා අහන්න කියවන්න ඕනේ.. මම කියන දේවල් අහන්න, මම ඔයාලට කව්ද.... කියා කියා හැමදාම මේක පටන් ගන්න එක පස්සට දැම්ම... එත් අන්තිමට හිතාගත්ත.... හෙට දවසේ මම ලියන්නේ මට උවමනා දේ මට හැඟෙන දේ.... ඒවාට එකග වෙන අය... විවෙචය කරන අය ඉඳීවි... ඉතින් මට මොකෝ.... දුක නැත්නම් සැපක් තියේවිද.... නරකයි කියා දෙයක් නැති නම් හොදක් තියේද... කඳුලක් නැත්නම් සිනහවක් තියේද... විවෙචයක් නැත්නම් එකගතාවක්  තියේද... මේ ජීවිතය සමබර කරන දේවල්.... ඒක නිසා හොඳ සහ නරක, මල් සහ ගල් මුල් ඕනේ එකකින් මට ප්‍රතිචාර දක්වන්න මැලි වෙන්න එපා.... ඒ හැම වචනයක්ම මට කවදා හෝ දවසක ප්‍රොයෝජනවත් වේවි.... මා ලියන දේවල් වලින් මාව මනින්න උත්සහ කරන්න එපා... මමත් ඔයාල වගේම හැමදාම වෙනස් වෙන... කාලයත් සමග මුහුකුරා යන... සාමාන්‍ය මනුස්සයෙක්....


තමන්ට හිතෙන දේ කියලා දාන තරමටම තව කෙනෙක්ට ඇහුම් කන් දෙන්න,
මන්ද අප හැමටම අපට හිතෙන දේ කියන්න කෙනෙක් හෙටද ඕනා වෙයි...
ජීවිතේ සතුට කාලයන් බෙදා ගත කල එය තවත් සතුට ගෙන දෙන්නා සේම...
ජීවිතේ අසීරු දුක් කාලයන් බෙදා ගත කල දුක වඩාත් තුනී වෙයි...


දුක සතුට ජය පරාජය හිමි අහිමි ලෝකයේ යලිත් හමුවෙන තුරු....
හිතාදර ගුලියා...