21/06/2011

අම්මාට සුභ උපන් දිනයක්

ඊයේ (19) මගේ අම්මිගේ උපන් දිනේ. ඔව් ! ඔව් ! අම්මි, අම්මා, මමා, මමී ඔය හැම එකක්කින්ම කියවෙන්නේ එකම කෙනෙක් ගැන නේ. මේ ඒ ආදරණීය අම්මා වෙනුවෙන් තබන සටහනක්.

පහුගිය සතියේ මගේ මිත්‍ර ජෝ මාව බලන්න ආවා. වෙනදට මිනිහගේ මූණ පුරාවට නිර්ලෝබීව පිරී තිබුණු හිනාව එදා මට පෙනුනේ බලහත්කාරයෙන් මූණේ රැදවූවක් වගෙයි. මිනිහ දවල්ට කාල හිටියෙත් නෑ. ඒ නිසා කන්න සැන්ඩ්විච් පෙති දෙකක් ටෝස්ට් කරගත්ත අපි දෙන්නා මිදුලේ බැංකුවකට වාඩිවෙනවාත් එක්කම ජෝ කටහඩ අවදි කලා.


"මමත් දැන් උඹ වගේම කුලී ගෙදරක ඉන්නේ. මම ගෙදරින් පිට උනා"

මගේ දෙඇස් උඩ ගියේ මටම නොදැනී. එය ජෝට කතාවේ ඉතුරු ටිකත් කියන්න මටම නොදැනී මගේ හිත දුන්නු ඉගියක් වෙන්න පුළුවන්.

ජෝ එතනින් එහාට කිව්ව ටික තමයි මේ...

"මම අවුරුදු 17 දී රස්සාවක් කරලා පඩි හම්බුනු පලවෙනි මාසේ ඉස්සෙල්ලම කරන්න ඕන උනේ, මටයි කියල ස්ථාවර ඉතුරුම් ගිණුමක් තියා ගන්න. ඒත් බැංකුවට ගියාම මගේ වයස මදි නිසාත්, බැංකුවෙන් දීපු යෝජනාව නිසාත් මම මගේ අම්මට කිව්ව මම වෙනුවෙන් ගිණුම අරඹන්න කියල, මම හැම මාසෙම එයාගේ ගිණුමට මගේ පඩියෙන් පවුම් 75ක ස්ථාවර නියෝගයක් (Standing Order) දැම්ම. ගිය මාර්තුවේ මගේ උපන්දිනේදී තමයි මට මතක් උනේ මටත් දැන් අවුරුදු 27ක්‌ මෙට්චර කල් මම එකතු කරපුවයින් කසාදයක් කරගෙන මගෙමයි කියල ගෙදරකට යන්න කලවයසත් හරි නේද කියල. ඉතින් එදා මම අම්මට මතක් කළා වෙලාවක බැංකුවට ගිහින් ඒ ගිණුමෙන් සල්ලි ටික ගන්නත් ඕනේ වග. මාසයක් විතර එක එක වැඩ නිසා කල් ඇදුනු මේ වැඩේ අහවරක් කරන්න තකහනියක් නිවාඩුවක් දාල අම්මත් එක්ක  බැංකුවට ගියා. ගියා නෙමෙයි ඇදගෙන ගියා... ඇත්තටම"

මද නිහැඩියාවකින් සුසුම්ලෑ ජෝ


"බැංකුවේ දොරකොඩදී මගේ අම්මා මට කිව්ව, ජෝ මට පොඩි පාපොචාරණයක්‌ කරන්න තියෙනව උඹට... මගේ අතින් ඒ සල්ලි ටිකක් වියදම් උනා.... කියල  මාව තිගැස්සුණ... ඒත් මගේ අම්මනේ කියල මම කිව්ව හරි ප්‍රශ්නයක් නෑ අපි තියෙන දෙයක් අරගෙන යමු... ඒත් අම්මගේ නිහැඩියාව මට කීවේ මෙතුවක් කාලයකට එකතු වී තිබිය යුතු පවුම් 9000 හෝ එහි පොලී තියා  (පවුමක් අද රු 180ක්‌) මගේ ගිය මාසේ පවුම් 75 වත් ඉතුරු වෙලා නැති බවයි." ජෝ තම මව සමග ගෙදරවුත් මේ බව තම විශ්‍රාමික පියා හා ලොකු නංගී සමග කියූ විට නංගී "අනේ මාව ඕවට ගාව ගන්න එපා. මට කරන්න දෙයක් නෑ" කියා යන්නට ගිහින්. පියාද තම අවරුදු 10ක් වූ නැගණිය පෙන්වා... "පොඩි එකී නැත්නම් මම ඔය ගෑනිව දාල ගිහින් මීට හුඟක් කල්"... නිරුත්තර ජෝ "උඹ මගේ සල්ලි හොරකම් කලේ ඇයි??" ඇසූ විට මව පිළිතුරු දෙමින් "උඹට ඕනා නම් එහෙම හිතා ගනින්"...  කියලත් අද වෙන තුරුත් සමාවෙයන් කියලවත් කියන්න උත්සහ කරලා නෑ.


වචයකුදු නොකීව ජෝ ඇඳිවත හා තම වාහනයේ යතුර ගෙන හිසලූ අත යමින් අවසානයේ තම මිතුරුකට කුලී ගෙවන්නට පොරොන්දු වෙමින් එහි නැවතී ඇත. ජෝගේ
ප්‍රශ්නය "මම මගේ අම්මගේ තාත්තගේ ගෙදර ඉන්නට කුලියක් ද ගෙව්වෙමි. වියදමටයි කියා අම්මට වියදම් කාසිද දුනිමි. මා කුසින් වදාපු අම්මා ඇයි මට මෙහෙම කලේ. අඩුම තරමින් පස්සේ හොයල බලපුවම මේ අවුරුදු 10ටම මගේ නමින් ඉතිරි කිරීම් ගිණුමවත් විවෟත කරලවත්  තිබ්බේ නෑ." ජෝ නාඩයි. ඒත් ඇස් දිලිසෙයි....

මට මාවම අමතක විය. පපුව හෝස් ගා දැවෙයි. කිව නොහැකිව ගොළු වූ බවකින් පෙළෙයි. අනේ මගේ අම්මා යන්න හිතේ දොන්කාර දෙයි.


ඈ...
 
මගේ හෝ මල්ලිගේ මේසය මතවූ පෑනක් පැන්සලක් ගන්නේද දෙතුන් වතාවක් අසාය. විටෙක එය කරදරයකි. "ඕකත් අහන්න දෙයක් ද" කියා සැර වුනු වාර කොපමණ ඇත්ද ? සෙනසුරාදා රෑ වන්නට  පන්ති නිම වී ගෙදර එන මගේ මේසය මත 4ට නැමී පෙඟී ගිය 10යේ හෝ 20සේ නෝට්ටුවක් සමග මාරු කාසි කීපයකි. (පසු කලෙක පෙඟී ගිය දෙන්නට බැරි වූ පෙම් හසුනකි. බොඳවී ගිය නිසා අදටත් ඇය ඒ බව නොදනී) ඒ මගේ ඉස්කෝලේ කලිසම් කමිස ඈ හේදුවා කියන සංඛ්තයයි. සෙල්ලම් කරමින් ඉන්න විටෙක "පුතේ.. හොඳ පුතා වගේ... ප්‍රියන්ති නැන්දලගේ ගෙදර ගිහින් උඹට නොම්බරයක් දේවි ඒක
අරන් එන්න"... "මොන මළ කරදරයක් ද අප්පා කෝල් එකක් දීල අහගන්නකෝ..."  ඒ සීට්ටු දැමීම ගැන මගේ නොදැනුවත්කමින් අම්මට දුන් පිළිතුරයි. මට සීට්ටු දැමීමේ ඇති වාසියක් තවමත් නොතේරෙයි. මගේ 21වන උපන් දිනය දා... එතුවක් කාලයකට, පළමුව ජේසුට පහන තියා විත් නිදියමින් හුන් මගේ හිස සිප ගෙන Happy Birthday පුතේ පමණක් කියූ ඈ, අගේ බැංකු පොත, ම අත තබමින්... "මම පුතාට ආස ලැප්ටොප් එකක් ගන්න මම සල්ලි එකතු කළා... මම ගණන් දන්නේ නෑ... මෙතන තියෙන ගාන මදි නම් කියන්නකෝ" කිව්වේද ඇයයි. පොඩ්ඩක් රොස් වුනු  මස් කරිය ගැන දොස් මුර දමා නොකා ඉන්නට යන මා  හිස පිරිමැද "සමාවෙයන් මගේ පුතේ".... කිය කියා බත් ටික ගුලි කර කුස ගිනි නිව්වේද ඇයයි.
මට තව කියන්නට හැකිය. ඒත් මගේ කඳුළු මට වාවන්නේ නැත.
ඇයට සුබ පතන්න මම දුරකථනයෙන් කතා කලෙමි. ඈට දෙන්නට... ඈ ආස කරන තෑග්ගක් මා නොදනී. ඒත් දුරකථනයේ එහා පසින්... "පුතේ  කවදද එන්නේ... අනේ පුතේ මුකුත් අරන් එන්න එපා.... ෂර්ට් කෑලි දෙකක් ඔතාගෙන එන්න.. මම පුතාව බලාගන්නවනේ... ටික දවසකට හරි අපි කට්ටිය ඔක්කොම එකට ඉමු" කියන්නේ ද ඇයයි. ඇයට දෙන්නට පුළුවන් ලොකුම තෑග්ග ඈ බලන්නට යාමයි.

සුභ උපන් දිනයක් වේවා අම්මේ....


අම්මි තාත්ති කඳානේ මංගල්‍යය දා
මට ඔවුන්ගේ උණුසුම ලබන තෙක් ඉවසුම් නැත.

11/06/2011

ජීවිතය සුන්දර ද මෙතරම්

අනන්තයේ එක දවසක, ජීවිතය දෙස ආපසු හැරී බලද්දී,
හැම මොහොතක්ම පූර්ණ නුමුදු ජීවිතය වෙනස්වී, වෙනස් වෙමින් තියේවි.
ආරම්භයක් හෝ අවසානයක් ගැන සොයන්නේ හෝ තැවෙන්නේ නැතිවේවි.
නිත්‍යයෙන් වෙනස්වූ වෙනස් වන ජීවිතය ගැන දුක් හෝ සුසුම් නොහෙලාවි.

සතුට සැප ඉදිරියේ සිර කරුවෙකු වූ මුත්, ජීවිතය මා සිර කලේ නැත.

දුක වේදනාව හමුවේ ඒකාකාරී  වූ මුත්, අත්දැකීම් වලින් නැවුම් බව ගෙනාවේය.
සියල්ල එපා වී ජීවිතය අත් හලමුත්, ජීවිතය මා අත් හලේද නැත.
දුක් වේදනා සැප සතුට ජීවිතය මිස, ජීවිතය මට උරුම නොකළ බව පසක් කර ගනිමි.

අනන්තයේ ඒ දවසේදී මම ප්‍රීතියෙන් උදම් ලමි, සතුටෙන් පිරී ඉහිරී යමි.

විඳි දුක් කරදර, සැප සම්පත මා පරිපූර්ණ කළ බව දැන ඒ ගැන සතුටු කඳුළු හෙලමි.
මම නොව මේතාක් ජීවිතය මා ජීවත් කළ බව දැන, ජීවිතයට පූජා කරමි.
ගෙවුණු අඳුරු කාලයන් හෝ මැව් සිහිනයන් ගැන නොව, මම අද ජීවිතය ජීවත් කරවමි.




03/06/2011

මමද එක්වෙමි

මමත් මගෙමයි කියල පුංචි බ්ලොග් පිටුවක් ලියන්න අද ඉඳන් හිතා ගත්තා.... මේ දේ කරන්න කොතරම් දැනුම තිබ්බත්, ඒකට මේතාක් වෙනකම් අවශ්‍යතාවක් උනේ නෑ... ඊටත් වඩා උවමනාවක් තිබුනෙත් නෑ කිව්වොත් හරි.. එත් අන්තිම පේලිය, නිහාල් ගුරුසින්හයන්ගේ යතාර්තවාදියා සහ සැබෑ මිනිසා, දුකා, මනුස්සකම, ගොඩගේ වංහුං හා තවත් එහෙන් මෙහෙන් කියෙව්ව බ්ලොග් පිටු පරිහරනනය නිසා හිතේ මන්ඩි වෙලා තිබුණු, වර්තමානයෙන් යටවෙලා තිබුණු හුඟක් දේවල් හිත් සාගරයේ කැළබෙන්න ගත්තා... කාලයත් සමග සියුම්ම්ව මතකයෙන් ඈත් වුනු බොහෝ දේ ලියන්නටත්, මෙතක් ආ මගදී හමුවූ අත්විඳි  ජීවිත අත්දැකීම් වලින් හැකි තරමක් බෙදා ගන්නටත් එකී මෙකී නොකී හිතට එන දේවල් ලියා දාන්න මගෙමයි කියල ඉඩක් තැනක් තිබුන නම් කියල හිතුන. හිතට එන හැමදේම කාට හරි කියන්න බෙදාගන්න ලොකු පුරුදක් නොතිබුනත්... මෑත කාලයේ ආ බ්ලොග් රැල්ලට මමත් අහුවෙලා හිතට එන දේ කියල හිතට හරියි කියල දැනෙන දේ කරලා මගේ ගාව හැංගිලා තිබුණු අවයාජ බවක් උලුප්පල ගන්න මට පුළුවන් උනා... අවුරුදු ගානක් පුරා මම නොවෙයි මම විදිහට ජීවත් වෙලා තවත් මොනවා කාට හන්ගන්නද කියල හිතුනෙත් මේ අතරෙදිමයි...  පසුකරමින් ආ පුදුමාකාර ජීවිතයෙදී... මේ කෙටි කාලයට ජීවිතේ කෙනෙකුට විඳින්න පුළුවන් අසීරුම දුක් ගැහැටත්..... කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම සැප සම්පත් තාන්න මාන්නත්.... දෙකම එක ලෙස ලබන්නට පින් කරපු මම අපසු හැරී බලද්දී මටත් කියන්නට දේවල් ඕනා තරම් තියෙන බව තේරුම් ගියා...

ඉතින් මේ පුංචි උත්සයක් පමණයි.... සිංහල බාසාව හසුරුවන්න සහජ හැකියාවක් තිබුනත් කාලයත් සමග එය මොට්ට වෙලාද කියා කියා.... මම මේ ලියන ඒවා කවුරු කියවයිද හිත හිතා.... කාටද අනේ මගේ බයිලා අහන්න කියවන්න ඕනේ.. මම කියන දේවල් අහන්න, මම ඔයාලට කව්ද.... කියා කියා හැමදාම මේක පටන් ගන්න එක පස්සට දැම්ම... එත් අන්තිමට හිතාගත්ත.... හෙට දවසේ මම ලියන්නේ මට උවමනා දේ මට හැඟෙන දේ.... ඒවාට එකග වෙන අය... විවෙචය කරන අය ඉඳීවි... ඉතින් මට මොකෝ.... දුක නැත්නම් සැපක් තියේවිද.... නරකයි කියා දෙයක් නැති නම් හොදක් තියේද... කඳුලක් නැත්නම් සිනහවක් තියේද... විවෙචයක් නැත්නම් එකගතාවක්  තියේද... මේ ජීවිතය සමබර කරන දේවල්.... ඒක නිසා හොඳ සහ නරක, මල් සහ ගල් මුල් ඕනේ එකකින් මට ප්‍රතිචාර දක්වන්න මැලි වෙන්න එපා.... ඒ හැම වචනයක්ම මට කවදා හෝ දවසක ප්‍රොයෝජනවත් වේවි.... මා ලියන දේවල් වලින් මාව මනින්න උත්සහ කරන්න එපා... මමත් ඔයාල වගේම හැමදාම වෙනස් වෙන... කාලයත් සමග මුහුකුරා යන... සාමාන්‍ය මනුස්සයෙක්....


තමන්ට හිතෙන දේ කියලා දාන තරමටම තව කෙනෙක්ට ඇහුම් කන් දෙන්න,
මන්ද අප හැමටම අපට හිතෙන දේ කියන්න කෙනෙක් හෙටද ඕනා වෙයි...
ජීවිතේ සතුට කාලයන් බෙදා ගත කල එය තවත් සතුට ගෙන දෙන්නා සේම...
ජීවිතේ අසීරු දුක් කාලයන් බෙදා ගත කල දුක වඩාත් තුනී වෙයි...


දුක සතුට ජය පරාජය හිමි අහිමි ලෝකයේ යලිත් හමුවෙන තුරු....
හිතාදර ගුලියා...